Monday, September 24, 2012

මිස්ටර් පෙරේරා





මම ජනේලයෙන් පිටත බැලුවෙමි.මිදුල අවට මලානික එළියක් විහිදුවමින් දැල්වෙන විදුලි බුබුල නිසා අන්දකාරය වෙලා ගත් පරිසරයට ආලෝකයක් නොව මහා මූසල පෙනුමක් එක් වී තිබිණි.මාගේ සිත මූසල පෙනුමටම සරිලන සේ මහා ගුප්ත හැඟීමකින් වෙලා ගැනුණි.

"තරු, මේ තේ එක නම් ඇත්තටම රසයි.ටිකක් බීලා බලනවද ?" ඔහු මගෙන් ඇසීය.

"එපා . අපි යං ... හොඳටම කඵුවරත් වෙලා."  මම ඇවිටිලි කළෙමි.

"අයියෝ පොඩ්ඩක් ඉන්නකෝ,ගෑණුත් එක්ක ගමනක් ආවොත් ඔහොම්මමයි." ඔහු නිරුස්සනා ස්වරයෙන් කීවේය.

නාලක අයියා, නුවර එළිය ප්රදේශයට අයත් තේ ෆැක්ටේරියක සහාය කළමණාකරු වශයෙන් සේවය කළේය. අපි  නාලක අයියාගේ  නිවසට නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණියෙමු. හරියටම 2001 වසරේදීය.

පුංචි කඳු ගැටයක් උඩ සාදා තිබූ ඔහුගේ අලංකාර බංගලාව මා සිත් ඇද බැද ගත්තේය.එහි මිදුලේ සිට බැලූ විට ඔහුගේ පරිපාලණය යටතේ තිබුණු විශාල තේ වතු යායවල් ඉතා ආකර්ශණීය ලෙස දිස් විය. බංගලාවේ සිට තේ ෆැක්ටේරියට තිබුණේ කිලෝමීටර දෙකක පමණ පයින් යා හැකි දුරකි. සවස පහට පමණ අප තේ ෆැක්ටේරියට ආවේ එය නරඹණ අරමුණිනි.අප සියඵු දෙනාම ෆැක්ටේරිය සිත් සේ නැරඹුවෙමු.අවසානයේදී අප පැමිණියේ තේ කොළ වර්ග කරන කාමරයටයි.එහි ගිය මොහොතේ සිට මා සමඟ එහි ගිය  පිරිමි තිදෙනාටම කිසිඳු ඉස්පාසුවක් නැත. විවිධ තේ කොළ වර්ග එක් එක් කෝප්ප වලට දමා ගෙන ඔවුන්ද විවිධ වූ තේ වල රස බලයි, සිනා සෙයි , විහිඵු කර ගනී එතැන එකම විකාරයක්ය. අතර වැය වී යන්නා වූ කාලය ගැන මේ තිදෙනාට  කිසිඳු මතකයක් නැත.

ඉන් ටික වේලාවකට පසු අප සිව්දෙන ෆැක්ටේරියෙන් එළියට ආවෙමු.

" හරි වැඩේ හොඳටම කඵුවරයි.ටෝච් එකක්වත් නෑ දැං කොහොමද යන්නේ ? " මම කීවෙමි.

" බය වෙන්න එපා. අපි ඉන්නවනේ " ඔහු කීවේය.

සීතලෙන් බේරීමට ස්විටරයකුත්, තොප්පිත්,කර වැසෙනසේ මෆ්ලර්ස් දමා ගෙන අතින් ටෝචයක්ද ගෙන කවුදෝ දෙදෙනෙකු ෆැක්ටේරියේ ගේට්ටුවෙන් ඇතුඵු වූහ.

" ඔයාලා කවුද ? " රතු පාට ස්විටරය හැඳ සිටි මැදි වයසේ යැයි කිව හැකි උස මහත පුද්ගලයා ඇසීය.

" අපි චින්න දොරේගේ යාඵුවෝ " චූටි මල්ලී කීවේය.
" හා හා හොඳයි හොඳයි පරිස්සමෙන් යන්න. " ඔහු සිනා පිරි මුහුණින් එසේ කියා අප පසු කර ගියේය.

දැඩි අඳුර නිසා පාර එතරම්ම නොපෙනුණි.පාරේ වලවල් වල නොවැටී ඉතා සෙමින් නාලක අයියාගේ නිවසට ඇවිදගෙන ආවෙමු.

රාත්රී ආහාර වේලද සූදානම් කර මේසය උඩ විය.

" අයියා අපි දැං එනකොට මිස්ටර් පෙරේරා හම්බවුණා. " චූටි මල්ලී කීවේය.
චූටි මල්ලී නාලක අයියාගේ සහෝදරයායි. අප එහි බව දැන ඔහුද නාලක අයියාගේ නිවසට පැමිණියේය.

සුදු අක්කී තම දෑස් ලොකු කරගෙන චූටි මල්ලී දෙස බලා සිටියාය.
" පිස්සු. වෙන කවුරු හරි වෙන්න ඇති " නාලක අයියා කීවේය.

" නෑ අයියා එයාමයි. " චූටි මල්ලී නැවතත් කීවේය.

" මනුස්සයා මැරිලා දැං මාස තුනකටත් වැඩියි." නාලක අයියා එසේ කීවේය.
එදා මුඵු දවසම මිස්ටර් පෙරේරා අපගේ මාතෘකාව විය.අප සියල්ලෝම චූටි මල්ලීට විහිඵු කර විනෝද වූවෙමු.

දින සතරක නිවාඩුවද නිම විය.අප කොළඹ බලා පැමිණියෙමු. බස් රථය තේ සඳහා අඹේපුස්ස නගරයේ නතර විය.

"තරු මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.දැං කොළඹනේ, ඒ නිසා ඒක කිව්වාට කමක් නෑ කියලා හිතුනා." ඔහු කීවේය.

"මොකක්ද ? " මම ඇසීමි.

" අර ඔයාට මතකද එදා චූටි මල්ලී මිස්ටර් පෙරේරා දැක්කා කිව්වා.ඒක ඇත්තලු. පැත්තේ ගොඩක් අය එයාව දැකලා තියෙනවාලු.මිනිහා මැරිලා තියෙන්නේ හාට් අටෑක් එකකින්.දැං ඔය තේ වත්තේ කැරකෙනවාලු. සමහරවිට තනියම සමහරවිට තවත් කවුරු හරි එක්කලු.නාලකත් දෙපාරක් විතර දැකලා තියෙනවාලු. සුදුයි ඔයයි හිටපු නිසා වෙලාවේ ඇත්ත කිව්වේ නෑලූ." ඔහු කියවාගෙන ගියේය.

එය අසා දැඩි ලෙස බියට පත්ව සිටි මාගේ දෙනෙත් වලින් කඳුලු රූරා වැටුණි.