Monday, July 30, 2012

අපේ බලුස්



 "මොකක්ද ඔය කළේ ? ඇයි සමනළයට ගැහුවේ ?" මං මල්ලීට හොඳවයින් ටොක්කක් ඇන්නා.අනේ ලස්සන සුදු පාට චූටි සමනළයෙක් මල්ලි උඩ පැනලා ඌට ගහපු පාරට බිම වැටුණා.මං වතුර චූට්ටක් අතට අරගෙන වැටිලා ඉන්න සමනළයා ගාවින් බිංදුවක් විතර දැම්මා. ඒක බොන්න ඇති එක පාරටම ඉගිල්ලිලා ගියා.මට වෙලාවේ ඇති වුනේ පුදුම සතුටක්.මට සිද්ධිය අද වගේ මතකයි.ඔය සිද්ධිය වෙන කොට  මල්ලීට අවුරුදු දෙකයි.එයා පුංචි කාලේ හරිම දඟයෙක්  මට එකොළහයි.මට තාම මතකයි මල්ලී ඔඵුව අත ගගා මං දිහා රවාගෙන හිටියා.කොහොම උනත් පුංචි සතෙකුට කළ පුංචි උපකාරය තාමත් මගේ හිතේ තියෙනවා මං හිතන්නේ ඒකෙන් මං විශාල තෘප්තියක් ලබන්න ඇති. මට මතක ඇති කාලෙක සතෙක් ගැන අනුකම්පා හිතුණු මුල්ම අවස්ථාව.ඊට පස්සේ ඉතිං සත්තු ගැන අමුතු ආදරයක් නම් ඇති වෙලා නෑ.සමහර විට ගෙදරින් කවදාවත් අපිට සත්තු අල්ලන්න වත් නොදීපු නිසා වෙන්න ඇති. හැබැයි මං කවදාත් සත්තු කූඩු කරලා හදන්න ආසා කළේ නෑ.මං ආසා කළේ කුරුල්ලෝ උනත් ගස් වල ඉන්නවා දකින්න.පියාඹනවා දකින්න.කිචි බිචි සද්දෙ අහන්න.මාඵුවෙක් උනත් ටැංකියක කොටු වෙලා ඉන්නවාට වඩා පොකුණක ඉන්නවා දකින්න වැඩියෙන් කැමතියි.ලෝකයේ ජීවත් වෙන හැම සත්වයකුටම නිදහස තියෙන්න ඕනෙ  නේද ? අපි හැමෝම ඉපදිලා තියෙන්නේ කූඩු වෙන්න නෙවෙයි නේද?

ඔන්න ඉතිං අනිත් හැමෝම වගේ මාත් ටික ටික ලොකු වෙන්න ගත්තා.කොහෙදෝ ඉඳලා ආපු පූසෝ දෙන්නක් අපේ ගේ ලඟ හිටියා.ඉතින් ඉස්කෝලේ හැරිලා ගෙදර ආවම මගේ බත් පතින් මුල්ම කටවල් ටික යන්නේ එයාලාට කොටින්ම ඔය පුරුද්ද මම විවාහ වෙලා අලුත්  ගෙදරට එනකනුත් ඒක එහෙමමයි.


 මගේ දූගේ හත් වෙනි උපන්දිනේ එයාට ලස්සන තෑග්ගක් හම්බ වුණා. හරිම ලස්සන 'ඩැශෝන්' වරිගයේ බලුස් කෙනෙක්.එයා ටිකක් විතර ලොකුයි. තෑග්ග දුවට උනාට බලුස්ව බලාගන්න වෙන්නේ මටනේ මං බල්ලන්ට බය නිසා එහෙම තෑග්ගක් ලැබුනා. මුල් දවස් වල නම් ඔය කියන්න තරම් මහා ආදරයක්  තිබුණේ නෑ.මුල් දවස් වල එයත් එහෙමයි.කන්න දුන්නාම කනවා. ඔහේ ඉන්නවා.ඉතිං දවසක් මං මෙයාව අරගෙන ගියා ඩොක්ටර් ලඟට ඉන්ජෙක්ෂන් එකක් විදින්න.ගිහින් ආවාට පස්සේ මෙයාට හොඳටම උණ.දුවටවත් එයා ලඟට යන්න දෙන්නේ නැතිව බලා ගත්තා. ඔන්න ඉතිං මෙයා එදායින් පස්සේ මගේ පස්සෙන්මයි.කවුරුවත් මං ලඟට එනවාට එයා එච්චර කැමැත්තක් නෑ.මං කොහෙද යන්නේ එයාත් එතන.දැං නම් අපේ බලුස්ට පුදුම ආදරයක් තියෙන්නේ. ස්කූබ්ට ගෙදර එන හැමෝමත් හරිම ආදරෙයි.සමහරදාට එයාව ගෙදර දාලා කොහේ හරි ගියාම අපට හරිම පාඵුයි.සමහරදාට එයාට ගොඩක් පාඵු හිතුණාම එකපාරටම ඇවිත් ඇඟට පැනලා සද්ද නැතිව මගේ ඔඩොක්කුවේ ඔඵුව තියා ගන්නවා. එයාව දැං හුරතල් කරලා වැඩියි.එයාටත් අපි හැමෝටම වගේ ගොඩක් ආදරය ,අවධාණය ඕනේ.කොච්චරවත් ස්කූබ්ට වද දෙන එකයි,මිරිකන එකමයි මගෙයි දූගෙයි වඩේ.ඒවා එයාත් ගාණක්වත් නෑ.එයාටත් ඕනේ දඟලන්නමයි.සමහර දාට කොච්චර ලඟට කතා කලත් අහෙන්නෙ නෑ වගේ ඉන්නවා. ස්කූබ් පැටියෝ කිව්වාම නම් ලඟට දුවගෙන එනවා.බලන්න සතෙකුට උනත් ආදරෙන් වචනයක් කතා කලාම මොන තරම් වෙනසක් සිද්ද වෙනවාද, එහෙනම් ඉතිං මිනිස්සු වන අපි ගැන කවර කතාද?

මේ දවස් වල පුංචි ප්රශ්ණයක්  පාරේ ඉන්න බල්ලොත් පස්සෙන් එනවානේ. එතකොට නම් ඉතිං 'හායි' කියලා හෙමින් සැරේ එතනින් යනවා.සතෙකුට උනත් ඇත්තටම ආදරේ හිතෙනකොට එයාලාට දැනෙනවා ඇති නේද ? මිනිස්සු වන අපිට පාඵුව, තනිකම, බඩගින්න, තිබහ, වේදනාවන් මේවා කියන්නවත් පුඵුවන් සත්තු වන උන්ට මේ කිසිම දෙයක් කියන්න බෑනේ.ඔහේ අපේ මූණ දිහා බලා ඉන්න විතරයි පුඵුවන්.

ස්කූබ් අපේ ගෙදර ගෙනාවට පස්සේ සත්තුන්ට තියෙන බය ටික ටික අඩු වුණා.දැං මට හුඟ වෙලාවට ගොඩක් සත්තුන්ව පේන්නේ ස්කූබ් වගේ.හැම සතෙකුටම තියෙන්නේ අහිංසක ඇස්. අහිංසක මූණු ….හරියට ආදරේ හිතෙනවා.

ස්කූබ් නිසා මං අනිත් සත්තුන්ටත් ආදරය කරන්න ඉගෙන ගත්තා.පුංචි සතෙකුගෙන් උනත් අපිට ඉගෙන ගන්න අපේ ජීවිතේට ලබා ගඟ පුඵුවන් මොනතරම් දේවල් තියෙනවාද කියලා හිතෙනවා.

' ලෝකෙටම ආදරය කරන්න ,එවිට ලෝකයද පෙරලා ඔබට ආදරය කරාවි '

6 comments:

  1. මාත් බල්ලොන්ට නං පුදුම ආදරෙයි. බැදලා ආවට පස්සේ දෙපාරක් අපේ පිස්සු බලු රාළ බුලට්ව හීනෙන් දැකලා උදේ පාන්දරම අපෙ මහත්තයවත් ඇදගෙන ගෙදර දිවුවා එයාව බලන්න. තාමත් මට බුලට් නැති පාළුව තියෙනවා...

    එයත් එක්තා විදියක ෂෝ කේස් එකක්. අපේ ගෙදරට එන ඕන කෙනෙක්ව පිළීගන්න ක්‍රම තියෙනවා. මාව පිලිගන්නේ ඔලුවට පැනලා මාව බිම ‌පෙරලගෙන. අපේ මහත්තයා බල්ලන්ට ආසම නෑ. එයා අතගාන්නේ එහෙම නැ. බුලට් චුට්ටක් කකුල ඉව කරලා නැට්ට වනලා ෂේප් වෙනවා. සත්තු දන්නවා කවුද ආදරේ කවුද ආදරේ නැත්තෙ කියලා.

    ReplyDelete
  2. ඔබ හරිම පැහැදිලිව ගලාගෙන යන්න අකුරු කරලා මේ ලිපිය..
    සියුම්ව දැනෙන්න ලියල..
    අපූරුයි සහෝ..
    ජය!

    ReplyDelete
  3. //' ලෝකෙටම ආදරය කරන්න ,එවිට ලෝකයද පෙරලා ඔබට ආදරය කරාවි '//

    සහතික ඇත්ත...!!!

    ReplyDelete
  4. බල්ලෝ ගැන නං කියලා නිම කරන්න බැ

    මම දන්න බල්ලෝ ගැන දැන ගන්න ආසයිනං මෙන්න

    මෙතනින්එන්න

    ReplyDelete
  5. බල්ලො තරම් මිනිස්සුන්ට අසීමාන්තිකව ආදරය කරන්න උගන්වන මිනිස්සුන්වත් නෑ..

    ReplyDelete
  6. ස්තූතියි හැමෝටම :)

    ReplyDelete