Monday, August 13, 2012

ජන මාධ්ය සහ දරුවා


"අම්මී ඇයි නිතරම පැළ ගෙනත්  පැල කරන්නේ ? අපිට ඕවායේ ගෙඩි කන්න ලැබෙන්නේ නෑනේ." ඔන්න ඉතිං ගිය සතියේ දවසක මගේ දූ එහෙම කිව්වා. ඊට පස්සේ මං එයාට තේරුම් කරලා දුන්නා ඇයි මං පැළ ගෙනත් මිදුලේ පැල කරන්නේ කියලා.හැබැයි ඉතිං දූ පුංචි නිසා කියපුවා තේරුණාද දන්නේ නම් නෑ.ඔයවගේම ප්රශ්ණයක් මෑතක මගේ යාඵුවෙක්ගේ බිරිඳත් ඇහුවා. "අපරාදෙනේ ඔය ඉඩමේ ගස් හිටවන්නේ තව අවුරුද්දකින් දෙකකින් ඔය ගෙදරින් ඔය ගොල්ලෝ යනවා නේ." එහෙම කිව්වා. "කවුදෝ හිටවපු කෙසෙල් පඳුරු වලන් අපිත් කෙසෙල් කනවානේ. ඉතිං ඒකටත් එක්ක මාත් මාව මතක් වෙන්න කාට හරි කන්න පළතුරු ගස් ටිකක් හිටවන එක හොඳයිනේ ." එහෙම කියලා මං හිනා වුණා.ඊට පස්සේ මං දැක්කා කෙනාත් ටික වෙලාවක් ගැන හිතුවද කොහෙද...ටිකක් කල්පනා කරනවා වගේ මට තේරුණා.

පහු වෙනිදා මං මේ ගැන ටිකක් ගැඹුරට කල්පනා කළා.අපේ ගෙදර කිසි කෙනෙක් ගහක් වවනවා තියා ඒවාට තරම්ම කැමැත්තක් තිබුණු අය නෙවෙයි.එයාලට ඕන වුනේ සිමෙන්ති දාපු පොළොවක්.ඉතිං ඒ ගෙදර හැදුණු මම විතරක් වෙනස් වුණේ කොහොමද? මං දිගින් දිගටම කල්පනා කළා.


"මොනවද මුත්තේ මොකදකරන්නේ …….?
මොකටද ඔබ ඔය බිම හාරන්නේ …….?

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි ..
අඹ ඇටයක් සිටුවන්නට හාරමි ……."

මේ ගීතය ගොඩක් අයට මතක ඇති නේ ... මීට අවුරුදු පහලොවකට විස්සකට කලින් මට හරියටම කාලය නම් මතක නෑ.ජාතික රූපවාහිණියෙන් මේ ගීතය හැම දවසකම හවසට විකාශය කෙරුවා,මම ඒ කාලේ රූපවාහිණිය ලඟින් හෙල්ලෙන්නේ නැති කෙනෙක්. ඇයි තව අපූරු ළමා ගීතයක් විකාශය වුණා මට ඒකෙ වචන තාම මතකයි ඒක හරිම ලස්සනයි.

" මුහුද ලස්සනයි......මුහුද හරි ලොකුයි......
 හො හෝ.... හො හෝ.... හො හෝ.... හො හො හො
 නතර වෙන්නෙ නෑ...........
 රැල්ල නැගෙනවා ..........
 වැල්ලේ හැපෙනවා........
 සමන් ප්ච්ච වගේ ළමෝ........ සින්දු කියනවා...."

හ්ම්ම්ම් මොනතරම් ලස්සන ගීතද ? ඒ ගීත වලින් ළමා මනසට දුන්නේ මොනතරම් රසවත් හරවත් දෙවල්ද .... අද මම මේ එක පැළයක් හෝ අන් සතු ඉඩමක හිටවලා සතුටු වෙන්නෙ, ඒවායේ පඵ ප්‍රයෝජන කවදාවත් නොදකින කාට හෝ දී යන්නට තරම් සිත හැදිලා තියෙන්නේත්, ඒ ගීතයෙන්, ජන මාධයයෙන් දරුවන් වුණු අපට දුන් දේවල් නිසා නේද කියලා හිතුණා. මේ දේවල් අපගේම චරිතාංග ඔප් නැංවීමට මොන්තරම් පිටුවහලක් වෙලා තියෙනවාද කියලා හිතුණා.  ගහ කොළ වලට ස්වභාධර්මයට ආදරය කරන්න, ඒවා විඳින්න ,ඒවා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න, ඒ විතරක්ද තමන්ට කිසිඳු දෙයක් නොලැබුනත් අනුන්ට අනාගත පරපුරට යුතුකම් ඉෂ්ට කිරීම පවා මේ සරල අපූරු ළමා ගීත තුළින් දරුවන් පුබුදුවා තිබෙනවා නේද ?


මම අවුරුදු හතරක් ඉඩමක් තියෙන ගෙදරක හිටියා. ඊට කළින් නම් අපි හිටියේ ගොඩක් පුංචි ගේක.ඒවායේ ඉඩමක් නම් තිබුණෙ නෑ.මම එදා ගහ කොළ දැක්කේ අපේ ගෙදර එහා පැත්තේ තිබුණු පන්සල් වත්තේ තාප්පෙන් එහා තිබුණු දෙල් ගහෙන්.ඒවාට ආපු කුරුල්ලෝ උන්ගේ සද්දේ ...ඔන්න ඉතිං මම මුලින්ම ස්වභාධර්මය රස වින්දේ එහෙමයි. ඔන්න ඊට පස්සෙයි ඉඩමක් තියෙන ගෙදරකට ආවේ. මම එහෙදීත් කලේ වවපු එකමයි. හැබැයි ඉතිං කවදාවත් දොඩම් ගෙඩියක්වත් මට කන්න ලැබුනේ නෑ.එහෙත් මල්ලිලා ඇවිත් කියනවා " අක්කා, අක්කා අර පැල කරපු ගස් වල ගෙඩි ගොඩක් පිරිලා තුබුණා අපි නම් කෑවා." කියලා මට ඇති වුණේ පුදුම සතුටක් මං ඒවා නොකෑවත් අනෙක් අය ඒවා කාලා සතුටු වෙනවා දකින මට නම් ඊට වඩා සතුටක් දැනුණා.

ජන මාධයකට අපේ ළමා පරපුර ඇති කරන්නත් නැති කරන්නත් හරි අගේට පුලුවන් ඒකට ලොකුම හේතුව තමයි ඕනෑම කෙනෙක් දෘෂ්ය මාධයට ඉක්මනින් ඇබ්බැහි වීම.ඒකෙන් වැඩියෙන් හානි වෙන්නේ ළමා පරපුරට.ළමයා ඕනෑම දෙයක් ඉක්මනින් ග්‍රහණය කර ගන්නවා.අද මාධයය තුළින් වැඩිපුරම යන්නේ දරුවාට හොඳ චරිතාංග එකතු කිරීමක් නොවෙයි.තියෙන ඒවාත් නැති කිරීමක් නේද? දැං අර දරුවොත් දාගෙන යම් යම් මාධය වලින් කරනවා අර ස්ටාර් මේ ස්ටාර්.අන්තිමට මේ දරුවෝ විනාසයි.කවුද මෙ දරුවන්ව මේ තැන වලට ගෙනත් දාන්නේ තමන්ගේම මාපියන් නේද? කාලයක් මං දැක්කා තුංමං හංදියක තඩි පෝස්ටර් එකක් එක එක විදිහට දරුවාගේ රංගන්යන් සහිත එක පෝස්ටර් එකක් අංක එකට එස්.එම්.එස් කරන්න.' අවුරුදු හයක හතක දරුවෙක් මොනවාද මේ මිනිස්සු මේ දරුවන්ට කරන්නේ ? පුදුම දුකකුයි ඒ දරුවන්ගේ මා පියන්ගැන තරහක් ඇති උණා.

ඔන්න ඉතිං තව දවසක් මං එතකොට හිටියේ දැනට ලංකාවේ ප්‍රසිද්ධ රංගායතනයක් කිට්ටුව. ඉතිං අපේ පොඩ්ඩිත් නටන්න ආස නිසා මෙයාවත් යැව්වා එතනට පංති වලට.දවසක් අම්මලාගේ ගෙදර යන්න ඕනේ නිසා ඩාන්සින් කලිසම විතරක් එහෙමම තියලා උඩින් ගවුමක් අන්දං පොඩ්ඩිත් එක්ක  ගියා පොත් සාප්පුවකට.එක ගෑණු කෙනෙක් මං ලඟට ඇවිත් ඇහුවා මෙයා ඩාන්සින් කරනවාද කියලා මාත් කිව්වා ඔවි කියලා .ඉතිං මෙයා ඒකේ විස්තර ඇහුවාම මං කිව්වා.ඊට පස්සේ මේ මනුස්සයා මට කියනවා " අපේ දුව කැමති නෑ ඩාන්සිං කරන්න.අර ස්ටාර් එක යනවානේ .ඔය ----------- සර් ඒකෙ ඉන්නවානේ එයාගේ ක්ලාස් එකට දැම්මා නම් අපේ දුවට ටිකක් ප්ලෙස් එකකුත් ලැබෙයිනේ.ඊටත් වඩා ටී.වී එකේ එක පාරක් හිටියාම ඇති." මං හිනා වෙලා යන්නං කියලා ආවා. අර පොඩි එකී අම්මාගේ සායට මුවා වෙවී ලැජ්ජාවෙන් මං දිහා එබි කම් කර කර හිටියා.ඔන්න ඉතිං අපේ වත්මන් පරපුරේ දරුවාට ගිය කල. මගේ දූව මාස දෙකක් විතර එතනට යනකොට මං අයින් කර ගත්තා. පංතියේ නිවාඩු දෙන දවසේ තමන්ට උගන්වන ගුරුවරියට වැන්දාම වන්දින්න එපා කීවලු. ඒකෙන්ම තේරුණා පංතියේ තරම.නර්ථණය කියන්නේ ගුරුන්ට වැදලා පටන් ගන්න අගනා ශාස්තරක් ඒ දේටවත් ගරුත්වයක් නොදෙන පංතියක මගේ දරුවා නර්ථණය පවා හදාරනවාට මගේ කැමැත්තක් තිබුනෙ නෑ.

ජන මාධය තුළින් අපේ ළමා පරපුර නැති වෙනවා.ඒවා නොතකන සමහර අම්මලා තාත්තලා ඒවාට උඩගෙඩි දෙනවා.

Saturday, August 4, 2012

මනුෂ්යත්වය හා මරණය



දාබරේ කියන්නේ තමන්ට කන්න තියෙනදේත් කවුරු හරි ඉල්ලුවොත් දෙන් ජාතියේ කෙනෙක්.මෑත කාලයේ අපුට හමු වුනු අපූරු මනුස්සයෙක්.

ගිය පාර දාබරේ ලංකාවට ආවාට පස්සේ දාබරේගේ තාත්තා නැති වුණා.ආදාහනය දවසේත් අපි කනත්තට ගියා.මම ඉතිං වැඩිය කාවවත් අඳුරන්නේ නැති නිසා ගහක් යටට වෙලා හිටියා. පවුලේ අය එක පැත්තක අඬනවා.සමහර අය ඉකි ගහනවා තවත් සමහර අය කදුඵු පිරුණු ඇස් වලින් දිහා බලං ඉන්නවා.ඔය වගේ දසුන් මළ ගෙවල් වල ඉතිං සුලබයි නේ, මටත් ඉතිං තරම්ම ගානක් වුණේ නෑ මොකද අංකල්ව මම එක පාරකට වඩා දැකලවත් කතා බහ කරලා ආශ්රය කරලා නොතිබුණු නිසා.එක පාරටම දෙණ ලඟ ලොකු කලබලයක් කවුදෝ මනුස්සයෙක් හයියෙන් කෑ ගහනවා ,අඬනවා ... තව චුට්ටෙන් මිනී පෙට්ටියත් පෙරලනවාලු.මළ ගෙදර බීගෙන ඇවිල්ලා කියලා ගොඩක් අය මනුස්සයාට බැන්නා. ශානා හැර අනෙක් පිරිමි දෙතුන් දෙනා ගහපු නැති ටික විතරයි. තරමටම එයාලාට කේන්ති ගිහින් තිබුනේ. මනුස්සයා කියපු වචන වල තිබුණේ පුදුමාකාර වේදනාවක්. කිසිම කෙනෙකුට පාලනය කරගන්න බැරි තරම් වේදනාවකින් කෑ ගැහුවේ දැඟලුවේ. අඬපු ඇඬිල්ලෙන්ම තේරුණා අර මැරුණු කෙනාට මොනතරම් නම් ආදරය කරන්න ඇතිද කියලා.මට වෙලාවේ නම් ඇති වුනේ පුදුම දුකක් මගේ ඇස් වලින් ඉබේම කඳුඵු කඩා වැටුණා, කොච්චර දුක හිතුණාද කිව්වොත් මට ඉබේටම ඉකි ගැහුණා.මම මිනිස්සු ඉස්සරහ අඬන්න කැමති කෙනෙක් නෙවෙයි. නිසා මට ලේසියෙන් ඇඬෙන්නෙත් නෑ. මට ඇඬුනේ  අර මැරුණු කෙනා වෙනුවෙන් නෙවෙයි අර ජීවත් වෙමින් දුක ඉවසා ගන්න බැරිව හඬා වැටෙනා කෙනා වෙනුවෙන්. අර මනුස්සයා මේ මළ කෙනාට ගොඩක් ආදරය කළ කෙනෙක් අවසාන මොහොතෙයි මරණය ගැන දැනගෙන තියෙන්නේත් මනුස්සයා ආවේත් අන්තිම මොහොතේ ඉතිං තමන්ට ගොඩක් උදව් කළ, තමන්ව හොඳින් බලා ගත්තු ආදරේ කළ කෙනෙක් නැති වුණාම වේදනාව දැනෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට,  පස්සෙයි මට තේරුණේ කනත්තේදී ඔය තරම්ම මිනිස්සු ගොඩක් ඇඬුවේ ඇයි කියලාත්, ශානක මේ තරම් ගුණ යහපත් වෙන්න හේතුව තමන්ගේ පියා තුළ තිබුණු මනුෂ්යත්වය  කියලයි මට හිතුනේ.

ලෝකයටත් ,සමාජයටත් ,තමන්ගේ නෑ හිතවතුන්ටත් උදව් උපකාර කරමින්,හොඳ කරමින් මරණයට පත් වන මිනිසුන් ඇත්තටම මරණයට පත් වනවාද ? මං නං හිතන්නේ කවදාවත්ම නෑ. ඒ වගේ අය සදාකාලිකවම තමන් ආදරය කරන අයගේ හිත් තුළ ජීවත් වෙනවා.මේ දේ කියන කොට මට මතක් වෙන්නේ මගේ ඉංගිරීසි ගුරුවරිය. ගුරුවරිය කිව්වාට ඇත්තටම ඇය මගේ ටියුෂන් ගුරුවරිය හා ඥාතීවරියක් 'ඩොටි දාතා' දාතා කියලා කියන්නේ සිංහලෙන් අක්කා කියන එක.ඇය මට දුන් දේවල   කවදාකවත් මුදල් වුනේ නෑ. ඊටත් වඩා මිල කළ නොහැකි වූ   වටිනා වදන් , අවවාද, ගුරුහරුකම්.ඇය ජීවතුන් අතර ඉන්නා තාක් ඇය මගේ ජීවිතයට මොන තරම් දේවල් දීලා තිබුණාද කියලා මට ඇත්තටම තේරුණේ නෑ. ඇයගේ මරණයෙන් පස්සෙයි ඇයගේ වටිනා කම සෑහෙනට දැනුණේ. අදටත් මගේ ආච්චී ,සීයා මතක් කරලා බත් පතක් හිඟන්නෙකුට දෙනකොට කවදාවත් මට ඇය අමතක වුනේ නෑ.අදටත් ඇය මා තුළ මා සමඟ ජීවත් වෙනවා.

 
මගේ ආච්චී මරණයට පත් වෙනකොට මට අවුරුදු දහ හතරයි.මගේ අම්මා මගේ ආච්චී මේ දෙන්නාම උනේ මට එක්කෙනෙක්.එක දවසක්වත් මාව බඩගින්නේ නොතියා,ආරක්ෂා කරලා, හොඳ අධ්යාපණයක් දිලා මාව හැඳුවේ මගේ ආච්චී.ආච්චී හරිම සැරයි  කොච්චර සැර උනත් ආච්චීට හරිම ඉක්මනට උණුවෙන හදවතක් තිබුණා.යමක් කවුරු හරි ඉල්ලුවොත් තියෙන දේත් පිට අයට දෙන ජාතියේ කෙනෙක්.මට තාම මතකයි ආච්චිගේ මරණයට එකතු වෙච්ච සෙනග පුදුමාකාරයි.කීදෙනෙක් නම් ඇත්තටම ඇඬුවාද ....   මිනිස්සු ආච්චීට තරමට  ආදරය කලා.එදා සෙනග දැක්කාට පස්සේ නම් හිතුණේ  'අනේ මං මැරුණු දවසටත් මෙහෙම සෙනගක් එනවා නම් කියලා' ඒවිද නම් දන්නේ නෑ. මොකද මං ආච්චි තරම්ම සෙනගත එක්ක නොගැවසෙන නිසා.

මට මේ හැම දෙයකින්ම කියන්න ඕන වුණේ  'මුදලට වඩා මනුෂ්යත්වයේ වටිනාකම හරිම ඉහළයි.මිල කළ නොහැකියි.' කියලා.මේ මිය ගිය හැමෝම ජීවිතේ මනුෂ්යත්වයේ පාඩම ලෝකයට කියලා දීලා ජීවිතයෙන් සමුගත්ත  මිනිස්සු. මොවුන් සදාතනිකව අපේ හදවත් තුළ රැදී සිටීවි !