Sunday, July 24, 2011

ඒ කාලේ....

අපේ වැඩිහිටියොත් එක්ක කතා බහ කරන වෙලාවට එයාලගේ කටින් ගොඩක් වෙලාවට පිටවෙන දෙයක් තමා, "අපේ කාලේ නම් දැන් වගේ නැහැ ඒකාලේ මේ විදිහට තමා උනේ..." කියලා ගොඩක් වෙලාවට ඒ අය දැනට වසර තිහක් හතලිහක් එහා කාලයක තිබූ සමාජය ගැන අදට වඩා හොඳ කියනවා. ඇත්තෙන්ම ඒ කියන කාලේ අදට වඩා හොඳ නිසාද නැත්නම් ඒ අය තමගේ අතීතය තාමත් විඳින නිසා කටින් පිට වෙන දෙයක්ද කියලා මට හිතා ගන්න බැහැ.

මන් දැන් බ්ලොග් ලියන්න පටන් අරන් ටික කලක් ගතවෙනවා ඒ කාලේ බ්ලොග් වලින් දැන ඇඳිනගත්ත සමහරු දැන් හැබෑ ජීවිතේත් හොඳ මිතුරන්. අපි එකතු වෙච්ච සමහර වෙලාවටත් බ්ලොග් ගැන කතා වෙද්දි වෙලාවකට අපේම කටින් පිටවෙනවා ඒ කාලේ නම් මෙහෙමයි ඒත් දැන් එහෙම නැහැ වගේ අදහස්. ඇත්තටම එහෙම වෙලා කියලා මට හිතෙන්නේ නැහැ ඒත් මගේ කටිනුත් එහෙම පිට වෙන වෙලාවල් නැතුවමත් නෙමෙයි.

ඇත්තටම බැලුවොත් අද මන් ඉන්න තත්වය මීට වසර කීපයකට වඩා හිටිය තත්වයට වඩා ඉහලයි. ඒත් මන් තාමත් සමහර වෙලාවට අදට වඩා ඒ කාලේ ගැන මතක් කර කර සතුටු වෙනවා. වැඩිපුර අතේ සල්ලියක් නැතුව ඉස්කොලේ ගිය කාලේ. සතපනහක් රුපියලක් අමාරුවෙන් හොයාගෙන අයිස් පැකට් කාපු කාලේ, ඕනේ නම් අයිස්ක්‍රීම් ලීටරයක් උනත් අරගෙන කන්න පුළුවන් කාලෙට වඩා සුන්දරයි කියලා මට හිතෙන්නේ. ඒ කාලේ ක්ලාස් කට් කරලා ගිහින් ෆිල්ම් බැලුවා, බොන්න සෙට් උනා ඒත් ඒවා දැන් හොරෙන් නැතුව කරන්න පුළුවන් උනත් ඒ කාලේ තරම් ඒ ගැන උනන්දුවක් නැහැ.

අපේ වැඩිහිටියන් හොඳයි කියන එක්දාස් නමසිය හැටේ දශකයේ, හැත්තෑව දශකයේ ලියවෙච්ච නවකතා පොත් වල එහෙම බැලුවම නම් මට ඒ කාලේ අදට වඩා විශේෂ හොඳක් හෝ නරක තිබබා කියලා හිතෙන්නේ නැහැ. ඒ කාලෙත් අද වගේම තමා කියලයි මට හිතෙන්නේ. අපේ ඥාතිවරියක්ගේ මංගල ඡායාරූප එකතුවක තිබූ සමහර ඡායාරූප වල සමහර ගැහැනු ලමයි ඇඳන් හිටපු ගවුම් අද ලමයි අඳින ඒවාටත් වඩා කොට ඒවා. ඒ ඇරෙන්න නවකතා පොත්වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ දැන් කාලේ වගේම ගෙවල් වලට හොරෙන් එහෙ මෙහේ යන සිදුවීම් නැත්තෙමත් නැහැ. බාර් ගානේ ගිහින් මත් පැන් පානය කරන ඒවා අද වගේමයි. කියන්න තරම් ලොකු වෙනසක් නැහැ ඒ දේවල් වල.

අපි බ්ලොග් පටන් ගත්ත කාලේ සහ අද බ්ලොග් ගැන එහෙම කියන්න තරම් වෙනසක් හැබෑවටම තියෙනවද මන්දා. ඒ කාලේට වඩා තියෙන බ්ලොග් සංඛ්‍යාවනම් වැඩී. ඒ ඇරුනම් ඒ කාලේ වගේම දැනුත් කියවන්න ආස හිතෙන බ්ලොග් සහ වැඩිපුර කියවන්න ආස හිතෙන්නේ නැති බ්ලොග් කියන දෙවර්ගයම තියෙනවා ඒක නිසා ඒ කාලේ හොඳයි කියන කතාව මගේ කටින් පිට උනත් ඒක එහෙමයි කියන්න තරම් හේතු මටවත් දෙන්න බැහැ.

ඇත්තටම ඒ කාලේට වඩා අද වෙනස්ද නැත්නම් මේ අපිට පේන හැටිද? නැත්නම් අපි හැමෝම අතීතය විඳින්න කැමති නිසා කියවෙන කතාවක්ද මේක????

Thursday, July 21, 2011

හැදින්වීම


ඔන්න යාලුවනේ මම පොඩි වැඩකට අත ගැහුවා..මේක නිකන් චාටර් වෙලා යන්න දෙන්නෙ නැතුව හරියට කරගන්න තමයි අදහස නම් තියෙන්නෙ :) ඉතින් මේක මට තනියම කරන්න බෑ.ඔයාලගෙ සහයෝගය ඕනමයි..
මේ බ්ලොග් අඩවිය ගැන් අපොඩි හැදින්මීමක් කලොත් මේක සමූහ බ්ලොග් අඩවියක් මෙතනින් ගිහින් ෆෝම් එක පුරවලා ඕනම කෙනෙක්ට මේකෙ සාමාජිකත්වය ලබා ගන්නත් ඕනෑම මාතෘකාවක් ගැන ලිපි පල කරන්නත් පුලුවන්..
අපි අතර ඉන්නව දැනටමත් බ්ලොග්කරනයේ නියුතු වෙලා ඉන්න අය..ඒ වගේම ආධුනික අය..මම මේ සියලු දෙනාට ආරාධනා කරනව එන්න පිත් සමග අත්වැල් බැදගන්න කියල..
තවත් එකක්..මේ බ්ලොග් අඩවිය විවේචන හා මඩ ගැසීම් වලටත් විවෘතයි.. ;) ;) ;)
මම දැනට මෙතනින් නවතින්නම් කැමති අය ෆලෝ කරල සහයෝගයක් දක්වන්න :D
ජයවේවා!!!