Sunday, July 24, 2011

ඒ කාලේ....

අපේ වැඩිහිටියොත් එක්ක කතා බහ කරන වෙලාවට එයාලගේ කටින් ගොඩක් වෙලාවට පිටවෙන දෙයක් තමා, "අපේ කාලේ නම් දැන් වගේ නැහැ ඒකාලේ මේ විදිහට තමා උනේ..." කියලා ගොඩක් වෙලාවට ඒ අය දැනට වසර තිහක් හතලිහක් එහා කාලයක තිබූ සමාජය ගැන අදට වඩා හොඳ කියනවා. ඇත්තෙන්ම ඒ කියන කාලේ අදට වඩා හොඳ නිසාද නැත්නම් ඒ අය තමගේ අතීතය තාමත් විඳින නිසා කටින් පිට වෙන දෙයක්ද කියලා මට හිතා ගන්න බැහැ.

මන් දැන් බ්ලොග් ලියන්න පටන් අරන් ටික කලක් ගතවෙනවා ඒ කාලේ බ්ලොග් වලින් දැන ඇඳිනගත්ත සමහරු දැන් හැබෑ ජීවිතේත් හොඳ මිතුරන්. අපි එකතු වෙච්ච සමහර වෙලාවටත් බ්ලොග් ගැන කතා වෙද්දි වෙලාවකට අපේම කටින් පිටවෙනවා ඒ කාලේ නම් මෙහෙමයි ඒත් දැන් එහෙම නැහැ වගේ අදහස්. ඇත්තටම එහෙම වෙලා කියලා මට හිතෙන්නේ නැහැ ඒත් මගේ කටිනුත් එහෙම පිට වෙන වෙලාවල් නැතුවමත් නෙමෙයි.

ඇත්තටම බැලුවොත් අද මන් ඉන්න තත්වය මීට වසර කීපයකට වඩා හිටිය තත්වයට වඩා ඉහලයි. ඒත් මන් තාමත් සමහර වෙලාවට අදට වඩා ඒ කාලේ ගැන මතක් කර කර සතුටු වෙනවා. වැඩිපුර අතේ සල්ලියක් නැතුව ඉස්කොලේ ගිය කාලේ. සතපනහක් රුපියලක් අමාරුවෙන් හොයාගෙන අයිස් පැකට් කාපු කාලේ, ඕනේ නම් අයිස්ක්‍රීම් ලීටරයක් උනත් අරගෙන කන්න පුළුවන් කාලෙට වඩා සුන්දරයි කියලා මට හිතෙන්නේ. ඒ කාලේ ක්ලාස් කට් කරලා ගිහින් ෆිල්ම් බැලුවා, බොන්න සෙට් උනා ඒත් ඒවා දැන් හොරෙන් නැතුව කරන්න පුළුවන් උනත් ඒ කාලේ තරම් ඒ ගැන උනන්දුවක් නැහැ.

අපේ වැඩිහිටියන් හොඳයි කියන එක්දාස් නමසිය හැටේ දශකයේ, හැත්තෑව දශකයේ ලියවෙච්ච නවකතා පොත් වල එහෙම බැලුවම නම් මට ඒ කාලේ අදට වඩා විශේෂ හොඳක් හෝ නරක තිබබා කියලා හිතෙන්නේ නැහැ. ඒ කාලෙත් අද වගේම තමා කියලයි මට හිතෙන්නේ. අපේ ඥාතිවරියක්ගේ මංගල ඡායාරූප එකතුවක තිබූ සමහර ඡායාරූප වල සමහර ගැහැනු ලමයි ඇඳන් හිටපු ගවුම් අද ලමයි අඳින ඒවාටත් වඩා කොට ඒවා. ඒ ඇරෙන්න නවකතා පොත්වල ඉන්න කොල්ලෝ කෙල්ලෝ දැන් කාලේ වගේම ගෙවල් වලට හොරෙන් එහෙ මෙහේ යන සිදුවීම් නැත්තෙමත් නැහැ. බාර් ගානේ ගිහින් මත් පැන් පානය කරන ඒවා අද වගේමයි. කියන්න තරම් ලොකු වෙනසක් නැහැ ඒ දේවල් වල.

අපි බ්ලොග් පටන් ගත්ත කාලේ සහ අද බ්ලොග් ගැන එහෙම කියන්න තරම් වෙනසක් හැබෑවටම තියෙනවද මන්දා. ඒ කාලේට වඩා තියෙන බ්ලොග් සංඛ්‍යාවනම් වැඩී. ඒ ඇරුනම් ඒ කාලේ වගේම දැනුත් කියවන්න ආස හිතෙන බ්ලොග් සහ වැඩිපුර කියවන්න ආස හිතෙන්නේ නැති බ්ලොග් කියන දෙවර්ගයම තියෙනවා ඒක නිසා ඒ කාලේ හොඳයි කියන කතාව මගේ කටින් පිට උනත් ඒක එහෙමයි කියන්න තරම් හේතු මටවත් දෙන්න බැහැ.

ඇත්තටම ඒ කාලේට වඩා අද වෙනස්ද නැත්නම් මේ අපිට පේන හැටිද? නැත්නම් අපි හැමෝම අතීතය විඳින්න කැමති නිසා කියවෙන කතාවක්ද මේක????

9 comments:

  1. ඕක මරේ අපි හැමෝගෙම මෙන්ටෑලිටි එකේ ප්‍රශ්නයක්. නිකං හිතල බලපං අපි තාම ආඩම්බරෙන් කියනව "ආඩම්බරයි ලෝවාමහ පායෙ කනූ" කියල . . . . . ඒත් ඒ ඉතිහාසය . . . . අපි කවදාවත් ආඩම්බර වෙනවද අපේ වර්තමාන දියුනුව ගැන . . . ??? ඔතන තියෙන්නෙ වෙන මොකවත් නෙමේ . . . . අපිට ආපහු අදින්න බැරි ගතවුන කාලය ගැන "අයි මිස් යූ" වගේ හැඟීමක් . . . . . .

    ReplyDelete
  2. මටත් පෙන්නනම බැරි දෙයක් තමා ඔය මගුල් අතීතයක් ගැන කොයෝ කියෝ ඉදීම...කාලයට ලෝකයට අනුරූපව අපිත් හැඩගැහෙන්න ඕන...නැත්තම් මගුල් අතීතයක් බදාගෙන කියෝ කියෝ ඉන්න එක නෙමේ !!!

    ReplyDelete
  3. ඔහොම යමුකෝ බලන්න.. අපිට සෙට් වෙන්න බැරිය මේකට??

    ReplyDelete
  4. @චාටර් ඒක නම් ඇත්ත මචන්

    @ADK මොකද බැරි එකතු වෙමු

    @ඕනයා රජකාලේ ශ්‍රී විභූතියක් ගැන කිව්වට ඒවා ගොඩනැගුවේ සාමාන්‍ය මිනිස්සු ලව්ව බලහත්කාරයෙන්ද කියලා අපි දන්නේ නැහැ ඒ වගේ ඒවා බැලුවම සමහර විට අපි ඉන්න වර්තමානේ ඊට වඩා හොඳ වෙන්නත් ඇති

    ReplyDelete
  5. මේකනම් මටත් වෙන දෙයක් තමයි. මට තේරෙන්නැහැ මේක ගැන කොහොම කියන්නද කියල. හිතෙන හැටියට හිතෙන්න අරිනවා :-D

    ReplyDelete
  6. අතීතකාමය කියන්නේ මේකටද?

    ReplyDelete
  7. කාලේ ගතවෙනවත් එක්කම හැම දෙයක්ම දියුණු වෙනවා...
    ඉතිං නරක දේවලුත් අලුතින් බිහි වෙනවා. ඒක නිසා ඉස්සර දැන් තරම් නරක දේවල් නොතියෙන්න ඇති.. ඒ වගේම මේතරම් හොඳ දේවලුත් නොතියෙන්න ඇති. කොච්චර හොඳ දේවල් තිබ්බත අපේ ඇහැ කෙලින්ම යන්නේ නරක දේවල් වලටමනේ. ඒ දිහා බලල අපි කියනවා ඉස්සර හොඳයි කියලා

    ReplyDelete
  8. මගේ කටිනුත් ඔය වචන සෙට් එක නම් එහෙම් පිටින්ම කියවෙලා තියෙනවා. බහුතරයක් මිනිස්සු අතීතයට ලැදි වෙන්න මොනවා හරි මනෝ විද්‍යාත්මක හේතුවක් ඇති නේද?

    ReplyDelete
  9. මටනං හිතෙන්නේ මේ හැම කාලයක්ම එක වගේ කියලා. වැඩි වෙනසක් නෑ.හැමදාමත් වගේ හොඳ සහ නරකත් එහෙම්මමයි.ඒවා මනින මිමිත් එහෙම්මමයි.

    ReplyDelete