Saturday, August 4, 2012

මනුෂ්යත්වය හා මරණය



දාබරේ කියන්නේ තමන්ට කන්න තියෙනදේත් කවුරු හරි ඉල්ලුවොත් දෙන් ජාතියේ කෙනෙක්.මෑත කාලයේ අපුට හමු වුනු අපූරු මනුස්සයෙක්.

ගිය පාර දාබරේ ලංකාවට ආවාට පස්සේ දාබරේගේ තාත්තා නැති වුණා.ආදාහනය දවසේත් අපි කනත්තට ගියා.මම ඉතිං වැඩිය කාවවත් අඳුරන්නේ නැති නිසා ගහක් යටට වෙලා හිටියා. පවුලේ අය එක පැත්තක අඬනවා.සමහර අය ඉකි ගහනවා තවත් සමහර අය කදුඵු පිරුණු ඇස් වලින් දිහා බලං ඉන්නවා.ඔය වගේ දසුන් මළ ගෙවල් වල ඉතිං සුලබයි නේ, මටත් ඉතිං තරම්ම ගානක් වුණේ නෑ මොකද අංකල්ව මම එක පාරකට වඩා දැකලවත් කතා බහ කරලා ආශ්රය කරලා නොතිබුණු නිසා.එක පාරටම දෙණ ලඟ ලොකු කලබලයක් කවුදෝ මනුස්සයෙක් හයියෙන් කෑ ගහනවා ,අඬනවා ... තව චුට්ටෙන් මිනී පෙට්ටියත් පෙරලනවාලු.මළ ගෙදර බීගෙන ඇවිල්ලා කියලා ගොඩක් අය මනුස්සයාට බැන්නා. ශානා හැර අනෙක් පිරිමි දෙතුන් දෙනා ගහපු නැති ටික විතරයි. තරමටම එයාලාට කේන්ති ගිහින් තිබුනේ. මනුස්සයා කියපු වචන වල තිබුණේ පුදුමාකාර වේදනාවක්. කිසිම කෙනෙකුට පාලනය කරගන්න බැරි තරම් වේදනාවකින් කෑ ගැහුවේ දැඟලුවේ. අඬපු ඇඬිල්ලෙන්ම තේරුණා අර මැරුණු කෙනාට මොනතරම් නම් ආදරය කරන්න ඇතිද කියලා.මට වෙලාවේ නම් ඇති වුනේ පුදුම දුකක් මගේ ඇස් වලින් ඉබේම කඳුඵු කඩා වැටුණා, කොච්චර දුක හිතුණාද කිව්වොත් මට ඉබේටම ඉකි ගැහුණා.මම මිනිස්සු ඉස්සරහ අඬන්න කැමති කෙනෙක් නෙවෙයි. නිසා මට ලේසියෙන් ඇඬෙන්නෙත් නෑ. මට ඇඬුනේ  අර මැරුණු කෙනා වෙනුවෙන් නෙවෙයි අර ජීවත් වෙමින් දුක ඉවසා ගන්න බැරිව හඬා වැටෙනා කෙනා වෙනුවෙන්. අර මනුස්සයා මේ මළ කෙනාට ගොඩක් ආදරය කළ කෙනෙක් අවසාන මොහොතෙයි මරණය ගැන දැනගෙන තියෙන්නේත් මනුස්සයා ආවේත් අන්තිම මොහොතේ ඉතිං තමන්ට ගොඩක් උදව් කළ, තමන්ව හොඳින් බලා ගත්තු ආදරේ කළ කෙනෙක් නැති වුණාම වේදනාව දැනෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට,  පස්සෙයි මට තේරුණේ කනත්තේදී ඔය තරම්ම මිනිස්සු ගොඩක් ඇඬුවේ ඇයි කියලාත්, ශානක මේ තරම් ගුණ යහපත් වෙන්න හේතුව තමන්ගේ පියා තුළ තිබුණු මනුෂ්යත්වය  කියලයි මට හිතුනේ.

ලෝකයටත් ,සමාජයටත් ,තමන්ගේ නෑ හිතවතුන්ටත් උදව් උපකාර කරමින්,හොඳ කරමින් මරණයට පත් වන මිනිසුන් ඇත්තටම මරණයට පත් වනවාද ? මං නං හිතන්නේ කවදාවත්ම නෑ. ඒ වගේ අය සදාකාලිකවම තමන් ආදරය කරන අයගේ හිත් තුළ ජීවත් වෙනවා.මේ දේ කියන කොට මට මතක් වෙන්නේ මගේ ඉංගිරීසි ගුරුවරිය. ගුරුවරිය කිව්වාට ඇත්තටම ඇය මගේ ටියුෂන් ගුරුවරිය හා ඥාතීවරියක් 'ඩොටි දාතා' දාතා කියලා කියන්නේ සිංහලෙන් අක්කා කියන එක.ඇය මට දුන් දේවල   කවදාකවත් මුදල් වුනේ නෑ. ඊටත් වඩා මිල කළ නොහැකි වූ   වටිනා වදන් , අවවාද, ගුරුහරුකම්.ඇය ජීවතුන් අතර ඉන්නා තාක් ඇය මගේ ජීවිතයට මොන තරම් දේවල් දීලා තිබුණාද කියලා මට ඇත්තටම තේරුණේ නෑ. ඇයගේ මරණයෙන් පස්සෙයි ඇයගේ වටිනා කම සෑහෙනට දැනුණේ. අදටත් මගේ ආච්චී ,සීයා මතක් කරලා බත් පතක් හිඟන්නෙකුට දෙනකොට කවදාවත් මට ඇය අමතක වුනේ නෑ.අදටත් ඇය මා තුළ මා සමඟ ජීවත් වෙනවා.

 
මගේ ආච්චී මරණයට පත් වෙනකොට මට අවුරුදු දහ හතරයි.මගේ අම්මා මගේ ආච්චී මේ දෙන්නාම උනේ මට එක්කෙනෙක්.එක දවසක්වත් මාව බඩගින්නේ නොතියා,ආරක්ෂා කරලා, හොඳ අධ්යාපණයක් දිලා මාව හැඳුවේ මගේ ආච්චී.ආච්චී හරිම සැරයි  කොච්චර සැර උනත් ආච්චීට හරිම ඉක්මනට උණුවෙන හදවතක් තිබුණා.යමක් කවුරු හරි ඉල්ලුවොත් තියෙන දේත් පිට අයට දෙන ජාතියේ කෙනෙක්.මට තාම මතකයි ආච්චිගේ මරණයට එකතු වෙච්ච සෙනග පුදුමාකාරයි.කීදෙනෙක් නම් ඇත්තටම ඇඬුවාද ....   මිනිස්සු ආච්චීට තරමට  ආදරය කලා.එදා සෙනග දැක්කාට පස්සේ නම් හිතුණේ  'අනේ මං මැරුණු දවසටත් මෙහෙම සෙනගක් එනවා නම් කියලා' ඒවිද නම් දන්නේ නෑ. මොකද මං ආච්චි තරම්ම සෙනගත එක්ක නොගැවසෙන නිසා.

මට මේ හැම දෙයකින්ම කියන්න ඕන වුණේ  'මුදලට වඩා මනුෂ්යත්වයේ වටිනාකම හරිම ඉහළයි.මිල කළ නොහැකියි.' කියලා.මේ මිය ගිය හැමෝම ජීවිතේ මනුෂ්යත්වයේ පාඩම ලෝකයට කියලා දීලා ජීවිතයෙන් සමුගත්ත  මිනිස්සු. මොවුන් සදාතනිකව අපේ හදවත් තුළ රැදී සිටීවි !

No comments:

Post a Comment