Tuesday, October 4, 2011

දෙදෙනෙක් සහ කතා දෙකක්

මට ඉන්නවා "ඒ" කියලා හොඳම යහළුවෙක් සහ "බී" කියලා හොඳම යෙහෙළියක්. මේ දෙන්නම මගේ හොඳම යාළුවෝ. ඕනේ දෙයක් කියන්න පුළුවන් ඕනේ වෙලාවක කතා බහකරන්න පුළුවන්. දුක සැප බෙදා ගන්න පුළුවන් අය.

කාලයක් ගියාම මේ "ඒ" කියන යාළුවක් "බී" කියන යෙහෙළියයි අතර යාළු මිත්‍රකම් දුර දිග ගිහින් ඒක ප්‍රේමයක් බවට පත් වෙනවා. ඉතින් හරිම හොඳයි දෙන්නම මගේ යාළුවෝ. ඒ දෙන්න එකට ඉන්නවා කියන්නේ මටත් දිගටම දෙන්නා එක්කම යාළු මිතුරුකම් පවත්වන්න පුළුවන් නැත්නම් ලංකාවේ නම් කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි දිගටම හොඳම යාළුවො වගේ ඉන්න බැහැ විශේෂයෙන් පවුල් පන්සල් උනාට පස්සේ ඒත් පාර්ශව දෙකම හොඳ යාළුවෝ නම් දිගටම මිතුරුකම් පවත්වාගෙන යාමේ අපහසුවකුත් නැහැ.

මේ දෙන්න හැමදාම කිරියි පැණියි වගේ හිටියොත් නම් අවුලක් නැහැ. හැමෝටම දිගටම යාළු මිතුරුකම් පවත්වාගෙන යන්න පුළුවන් ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ "ඒ" සහ "බී" තරහා උන්නොත් කියන එක. ගොඩක් ලං උන අය තමා පස්සේ ගොඩක් තරහා කාරයෝ වෙන්නේ. හැමදාම අතේ දුරින් ඉන්න අය කවදාවත් එහෙම තරහා වෙන්නේ නැහැ ඒක නිසා මේ දෙන්නා තරහා උනොත් මට මොනා වෙයිද ඒ කියන්නේ දෙන්නාගේම යාළුවන්ට.

එහෙම වෙලාවක් මන් ගන්න ඕනේ "ඒ" ගේ පැත්තද "බී" ගේ පැත්තද? ඔය කාගේ හරි පැත්තක් අරගන්න ගිහින් ටික දවසකින් මේ දෙන්නා ආයි යාලු උනොත් ආපහු මට මොනා වෙයිද? මොකද එතකොට දෙන්නාගේම පොදු සතුරා වෙන්නේ මන් නිසා. මේ වගේ වෙලාවක අපි මොනාද කරන්න ඕනේ. මගේ නම් අදහස පුළුවන් තරම් නිෂ්ශබ්දව ඉන්න එක හොඳයි කියලා ඒත් ඒක හැම වෙලේම කරන්නත් බැහැ.

මන් හිතන්නේ යාළුවෝ යාළුවො අතර සම්බන්දකම් වලින් වැඩියෙනම් අපහසුතාවයට පත් වෙන්නේ අතරමැදි යාළුවෝ කියලා. මොකද එයාලට පැත්තක් ගන්නත් බැහැ. අනික යාළුවෝ දෙන්නවමත් වැදගත්. ප්‍රශ්නයක් උනාට පස්සේ ආපහු කලින් වගේ ඉන්න බැහැ මොනා කැඩිලා බිඳිලා ගිහින් ආයි හැදුවත් කැඩුනු බිඳුනු හිත් ආපහු හදන්න බැරි නිසා. එහෙම උනාට පස්සේ ඔය දෙන්නම එකට එන තැන වගේ දේවල් වලට සහභාගී වෙන්න ගියාම අතරමැදි යාළුවෝ පත්වෙන්නේ අලි අමාරුවක තමා.

ඔය අතරේ "ඒ" සහ "බී" ත් නිකන් ඉන්නේ නැතුව දෙන්නට දෙන්නා සීතල යුද්දෙකට ගියොත් එහෙම අනේ අපිට දෙවියන්ගේම පිහිටයි.

මේක යාළු මිත්‍රයෝ අතරේ විතරක් නෙමෙයි නෑදෑයෝ සහ වෙනත් අසල්වැසි අය අතරේ උනත්  සිද්ද උනාම ගොඩක්ම ඕවායින් අසීරුතාවයට පත්වෙන්නේ ඒ දෙගොල්ලන්ගේම හිතවතුන් කියලා මට හිතෙන්නේ.